මිනිසුන් ඒ මේ අත යති..මා දැක ඈත් වෙති...සමහරු පරිභව කරති...තව උන් හිනැහෙති...මම උන් දෙස බලා කල්පනා කරමි....
ඈ නිසංසලය..ශාන්තය...හුරුබුහුටිය...නිරතුරු සිනහවකින් මුව සරසන්නීය...කොටින්ම ඈ දකිනා ඕනෑම පිරිමියෙක් හට ඈ ගැන ආදරයක් සිතෙනා තරමට ඇය සිත්කළුය.ඈ දහ හත් හැවිරිදිය..නමින් නිෂාදීය.මා මේ තරම් වර්ණනා කරන්නේ කා ගැන දැයි පාඨක ඔබ මගෙන් විමසනු ඇත...ඊට මත්තෙන් මා ගැන බිඳක් පවසනු කැමැත්තෙමි...මම රජයේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ අයෙක්මි..නමින් සුදත් මහානාම වෙමි...හතලිස් පස් හැවිරිදි මා එක්දරු පියෙක්මි...ඉහත මා වර්ණනා කළ යුවතියට මම පණ මෙන් ආදරය කරමි...වරදවා නොසිතන්න...ඇය මාගේ දියණියයි...
බහ තෝරන සන්ධියේ ඇගේ මුවින් අප්පච්චි යැයි මුලින්ම තෙපළුු දිනය අද ඊයේ වාගේය...ඇය ඉපදුණු දා සිටම මා බිරිඳගේ මගේ මුළු ලොවම වූයේ ඇයයි...එහි මහ ලොකු පුදුමයක්ද නැත...දෙමාපියන්ට තම දරුවා ලෝකයම වන්නේය...
පෙර සඳහන් කරන්නට අමතක වූ දෙයක් සටහන් කරන්නට පාඨක ඔබෙන් සමාව ඉල්ලා අවසර පතමි...මාගේ බිරිඳ ගැන හාංකවිසියක් වත් ඔබට කියන්නට ඇත්තටම මට අමතක වූවා නොවේ..ඇයව අමතක කරන්නට මට සිදුවී ඇත...
ඇය දර්ශනී ය..නමටම ගැළපෙන්නාවූ රූප සෞන්දාර්යයකින් ඇය පොහොසත්ය...තිස් හත් වියට එළඹ ඇති මුත් ඇගේ තරුණ රුවෙහි කිසිඳු වැහැරීමක් දක්නට නැත...ඇත්තෙන්ම මාගේ දියණිය තරමටම නැතත් ඊට ආසන්න රූප සෝභාවක් ඇයට උරුමව ඇත..
මා එකළ සේවය කළ පාසලට දර්ශනී පැමිණියේ පුහුණු ගුරුවරියක් ලෙසය..මුලින් මුලින් ඇතිවූ හිතවත්කම පෙම්වන්තකම කට පෙරලී යද්දී එයට විරුද්ධ වූයෙක් නොමැති තරම්ය...මගේ අම්මාත් ඈගේ අම්මාත් තාත්තාත් එකහෙලා අපට ආශිර්වාද කළෝය...ඇය මට මුණ ගැසී තුන් මසකින් ඈගේත් මාගේත් විවාහය සිදුවිය..ඇත්තෙන්ම දර්ශනීට ඉකමනින්ම මගේ වීමට ආසාවක් තිබිණි...ඉඳින් මමද ඇයව ඉක්මනින්ම මගේ ප්‍රියම්බිකාව කරගන්නට නොඉවසිල්ලෙන්ම සිටියෙමි...
එයින් ටික කළකට පසුව අපේ ලොව එළිය කෙරූ දියණිය මෙලොව එළිය දුටුවාය...
ඒ මා ගතකළ සුන්දර අතීතයේ සිදුවීම්ය...
ආදරය නම් තිරයෙන් මගේ ජීවිතය වැසී තිබුණා දැයි දැන් මට දැනෙයි.සිතෙයි...මීට අවුරුද්දකට පමණ මත්තෙන් එතෙක් මගේ හෙවණැල්ල මෙන් උන් බිරිඳ ටිකෙන් ටික වෙනස් වනු මට හැඟුණි...ඇයව අවිශ්වාස කරන්නට ගත් මුල් කාලයේ මම මටම සාප කරගතිමි...ඇය ඒ තරමටම ගුණවත් බිරිඳක වී සිටියාය...අවසානයේ ඇයගේ අලුත උපන් ආදරය හෙලිදරව් කරගැනීමට මම සමත් වීමි...
දියණිය ගැන කියා ඇයව යහ මඟට ගන්නට මා නොගත් උත්සාහයක් නැත..ඇය ජයග්‍රාහිකාව කරමින් සෑම උත්සාහයකින්ම මම පරාජිතයාම වීමි...
අවසානයේ දර්ශනිය මා දියණියද රැගෙන තහනම් ආදරය සොයා ගියාය...
හදා ගත් මුළු ලොවම දෙපා පාමුල ඇද වැටෙද්දී ආයාසයෙන් දර්ශනියගේ දර්ශනය ජීවිත සිත්තමෙන් මකා දැමුවද ලෙයින් මසින් උපන් මා දියණිය අමතක කළ නොහැක්කේය.
පිපෙන්නට ළං වූ මගේ කැකුළිය නන්නාඳුනන පිරිමියෙක් ඇසුරෙහි හැදෙන්නට වැදෙන්නට දෙන්නට තරම් මට සිත හදා ගත නොහැකි තැන දික්කසාදය සහ දියණිය මා භාරයට ගැනීමට මම නීතිය සරණ ගියෙමි...
දික්කසාදය නම් මුලින්ම ලැබුණි...එක් පියවරක් දිනාගත් හැඟීමක් සිත් තුළ ඇති වුවද අධිකරණයේ තීරණයෙන් දියණිය ඈගේ භාරකාරත්වයට පැවරුණි...
උසාවියේදී මට අවාසි වන සේ තීන්දුව ලැබුණේ මාගේ නොසැලිකිලිමත්කම නිසා බැව් නීතිඥ්ඥ මහතාගේ අදහසයි..දර්ශනී බොරු එකින් එක ගොතා මට පහර ගසද්දී ඇගේ නව සහකරු ඔච්චමට මට සිනාසෙද්දී මට කතා කරගත නොහැකි විය...විසි අවුරුද්දකට ආසන්න කාලයක් මගේ ජීවන සහකාරිය වූ ඇයට චෝදනා කරන්නට අදද මට සිතෙන්නේ නැත...දර්ශනියගේ නව පෙම්වතා කුඩා කළ ඇගේ මිතුරෙකු බවත් බොහෝ කාලයක් එංගලන්තයේ වාසය කළ අයෙකු බවත් මට දැන ගන්නට ලැබුණි..ඔහුගේ හා දර්ශනීගේ සම්බන්ධය ගැන කිසිත් අධිකරණයට නොකී නිසා තව තවත් අසරණ වූයේද අහිංසක මාය..
ද්වේශ සහගත ලෙස හැර යාමේ වරදට වරදකරු වූ මා විසින් ඇයට මාස් පතා රුපියල් විසි දහසක වන්දියක් ගෙවිය යුතු බවට අවසානයේදී තීන්දු විය.මේ කිසිත් කම් නැත..හිඟා කමින් හෝ වන්දි ගෙවිය හැක්කේය..
එහෙත් මගේ දියණිය අතැර මා සැනසෙන්නේ කෙසේද?
මගේ දියණිය අවසානයේදී මා දුටුවේ වන්දි මුදල් ලබාදීම සඳහා ඩී එන් ඒ පරික්ෂණයකින් ඇය මගේ දියණිය බවට තහවුරු කරගැනීමට පරික්ෂණාගරයට ගිය විටදීය..
"
අප්පච්චි මට ඔයා ගාව ඉන්න ඕනෙ"
ඈ හඬමින් කෑ ගසද්දී මා නොහඬා සුසුම් හෙළිමි..ඈ වැඩියෙන්ම ලැදි මටය..තවද ඇය මවගේ වැරැදිද දනී..නමුදු උසාවිය නීතිය අන්ධය..
අනේ මට තවත් දරුවෙක් සිටියා නම් ඒ දරුවා මට නීතියෙන් හිමි වනු ඇත..එහෙත් තව දරුවෙක් මගේ ලෝකයට නාවේද ඈගේ අකැමැත්ත මතය..දැන් කරන්නට දෙයක් ඉතුරු වී නැත්තේය..
මා අවසනායටම වේදනාවක් දරාගත්තේ ඒ දවසේදීය...
මා සතු සියල්ලම අහිමි වී ඇත්තේය..මාගේ බිරිඳ මාගේ දියණිය අවසාන නඩු වරයෙන් පසුව යළි මා සමීපයට නො එනු ඇත...නමුදු අනාගත දවසක හෝ දියණිය මා සොයා එන බැව් මා සිත දනී.ඔව් ඈ මට ආදරේ කරයි..එනිසා එදිනද මම එකම එක බලාපොරොත්තුවකින් යුතුව ජීවත් උනෙමි...
අවසන් නඩු වාර දිනය ඒ කවදාද මට මතකයක් නැත...නමුදු සිදු වූ දෙය අද වාගේ මගේ මතකයේ සදාකාලිකවම සටහන්ව පවතී...
මා විසින් මාස් පතා බිරිඳට ලබා දිය යුතු වූ වන්දි මුදල අහෝසි කර දැමීමට උසවිය තීන්දු දුන්නේය...
විනිසුරුවරයාගේ ඒ කටහඬ ඒ ස්වරය මට තවම මතකය....
"සුදත් මහානාමගේ සහ නිෂාදි මහානාමගේ ඩී එන් ඒ පරික්ෂාවෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර කිසිඳු ජානමය සම්බන්ධයක් නොමැති බවට ආදාල ආයතනය විසින් තහවුරු කර ඇති හෙයින් පෙර කී වන්දි මුදල් ගෙවීම ගරු අධිකරණය විසින් අවලංගු කරන අතර............."
ඉන්මත්තට කුමක් වීද මා නොදනී...උසාවි බිමෙන් පිටවී යන මොහොතේ කව්දෝ මෙසේ කියනු මට ඇසුණි...
"ඒ ගෑනියි මිනිහයි කලින් යාලුවෙලා ඉඳලලු ඔය මිනිහ රට ගියේ...ළමය හම්බෙන්ඩ හිටිය හින්දලු අර මිනිහව බැඳල තියෙන්නෙ.අනේ මෙහෙමත් ගැණු...."
"පිස්සෙක් පිස්සෙක්..මොන කරුමයක්ද මන්දා අපිටත් එනව වද දෙන්ඩ මෙතන ඇවිත්...."
ගැහැණියක් මා එළවන්නට වෙර දරයි....මා උම්මත්තක නැති බව මම දනිමි...එහෙත් මිනිසුන් මා උම්මත්තකයෙකු ලෙස හංවඩු ගසා ඇත.
දියණියගේ සේයාවක් ඈත කොනකින් කෙදිනක හෝ මතු වෙන තුරා ජීවත් වීමේ අටියෙන් තවමත් මම උම්මත්තකයන් රැළක් මැද මිනිසෙකු ලෙස ජීවත් වෙමි...
::::::::::::::සිමෙත් කවීජ:::::::::
0 Komentar